අග්‍රාමාත්‍ය දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධනගේ දේශපාලන පක්ෂය වන මහජන එක්සත් පෙරමුණ මෙවර ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සහය දීමට තීරණය කර තිබෙනවා. අද (01) පස්වරුවේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේ දී ඒකමතිකව මෙම තීරණයට එළඹුණ බවයි පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ එම පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා තිබෙන්නේ.

මහජන එක්සත් පෙරමුණ ආරම්භ කළේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ පියා වූ පිලිප් ගුණවර්ධන මහතා විසින්. එකල ඔහු හැඳින්වුයේ ‘බොරලුගොඩ සිංහයා’ ලෙසින්. මුලින් සමසමාජ නායකයෙකු වූ පිලිප් ගුණවර්ධන මහතා සමසමාජ පක්ෂය සහ බොල්ෂෙවික් සමසමාජ පක්ෂය ඒකාබද්ධ කිරීමට එරෙහිව ඉන් ඉවත් වී තිබුණා. ඉන් පසුව ඔහු 1950 දී විප්ලවකාරි ලංකා සමසමාජ පක්ෂය පිහිටුවා ගත්ථා. ඉම පක්ෂය 1959 දී මහජන එක්සත් පෙරමුණ (MEP) බවට නම්කර එහි නායකත්වයට පත් වුණා. පක්ෂ සලකුණ වුණේ කරත්ත රෝදය යි.

ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සහ ලංකා පාර්ලිමේන්තුවේ සභිකයෙකු වූ මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන මහතා 1956 සිට 1959 දක්වා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අගමැති ධුරය යටතේ කෘෂිකර්ම හා ආහාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ඔහුගේ දේශපාලනය අවසන් වුණේ එකල එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ ඩඩ්ලි සේනානායක අගමැතිවරයා යටතේ 1965 සිට 1970 දක්වා කර්මාන්ත හා ධීවර අමාත්‍යවරයා ලෙසද කටයුතු කිරීමෙන් පසුවයි.

සිය පියා ගේ අභාවයෙන් පසුව එවකට විදෙස් අධ්‍යාපනය ලබමින් සිටි දිනේෂ් ගුණවර්ධන මහතා 1972 දී නැවත ලංකාවට පැමිණියා. ඔහු 1973 අගෝස්තු මාසයේ දී මහජන එක්සත් පෙරමුණේ (MEP) මධ්‍යම කාරක සභාවට පත් කරන ලද අතර 1974 දී එහි ප්‍රධාන ලේකම් බවට පත්වුණා.

දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට කේවල ආසන පදනමින් රට පුරා පැවැත් වූ අවසන් මහ මැතිවරණය වූ 1977 ජූලි පාර්ලිමේන්තු මැතිවරණයේ දී අවිස්සාවේල්ල ආසනයෙන් මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා ලෙස පළමු වරට මහ මැතිවරණයකට තරග කළා. එහෙත් එවර ඔහු පරාජයට පත් වුණේ එජාප අපේක්ෂකයා වූ එම්.ඩී. ප්‍රේමරත්නට යි. ඉන් පසුව පැවති 1982 දෙසැම්බර මාසයේ දී පැවති ජනමත විචාරණයේ දී ජේ.ආර්. පාලනය මැතිවරණ ආසන 18ක් පරාජයට පත්ව තිබුණා. ඒ වෙනුවෙන් ජේ.ආර්. පාලනය අතුරු මැතිවරණ පැවැත් වූ අතර 1983 මැයි 18 වන පැවැත්වූ එම අතුරු මැතිවරණ මෙරට පැවති අවසන් අතුරු මැතිවරණ යි. එවර මහරගම ආසනයට මහජන එකසත් පෙරමුණෙන් තරග කළ දිනේෂ් ගුණවර්ධන මහතා මහරගම ආසනය දිනාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ මහජන එකසත් පෙරමුණේ අපේක්ෂකයා ලෙසයි. යලිත් 1989 පෙබරවාරි 15 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස තරග කරමින් පාර්ලිමේන්තු නියෝජනය ලබාගත්තා. එහෙත් එජාපය දැඩි විරෝධයක් මතු වූ 1994 පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා ලෙස පරාජයට පත්වුණා. ඒ දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පක්ෂය වූ මහජන එක්සත් පෙරමුණ අවසන් වරට තනිව පක්ෂයක් ලෙස ඉදිරිපත් වූ අවසන් මැතිවරණය යි.

ඉන් පසුව ශ්‍රීලනිප නායිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මූලිකත්වයෙන් පිහිට වූ පොදුජන පෙරමුණ (PA) සමඟ 2000 අගෝස්තු 27 වන දින එක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා 2000 ඔක්තෝම්බර් 10 වෙනිදා පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

ඉන් පසුව 2001 පොදු පෙරමුණ, 2004, 2010 සහ 2015 එක්සත් ජනතා නිදහස් සන්ධානය, 2020 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වූ මහජන එක්සත් පෙරමුණ මහ මැතිවරණ සඳහා තරග කළා. ඒ හැම මැතිවරණයකින්ම මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

දැඩි එජාප විරෝධී සහ රනිල් වික්‍රමසිංහ විරෝධී දේශපාලන පක්ෂයක් සහ නායකයෙක් ලෙස මහජන එක්සත් පෙරමුණ සහ එහි නායක දිනේෂ් ගුණවර්ධන පෙනී සිටියත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරය අතහැර පලා ගිය පසු ජනාධිපතිවරයා බවට පත්වූ එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ මහජන එක්සත් පෙරමුණේ නායක, පොහොට්ටුවේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන 2022 ජූලි 22 මෙරට අගමැතිවරයා ලෙස දිව්රුම් දුන්නා. ඔහු මේ දක්වා පෙනී සිටියේ දැඩි ලෙස මහින්ද රාජපක්ෂ හිතවාදියෙකු ලෙසයි.

දිනේෂ් ගුණවර්ධන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ එක පංතියේ අධ්‍යාපනය ලැබූ පංති මිතුරන් දෙදෙනෙක්.