මෙරටට ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000ක් රැගෙන පැමිණි නෞකාවක් ආපසු හරවා යවා ඇති බව අනාවරණය වන අතර එසේ ආපසු යැවීමට හේතුව පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන සමයේ ඇති කර ගත් කුප්‍රකට ඩීල් නිසා බව වාර්තා වේ.

ඉන්ධන පිරවුම්හල් 150ක් විදේශ සමාගමකට ලබා දෙන බව පවසා එයින් 70ක් පමණක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා දැක්වීමට එම නැව හරවා යවා ඇතැයි ලංකාදීප වෙබ් අඩවිය වාර්තාකර ඇත. එම්.ටී. හෆ්නියා ටයුරුස් නැමැති එම නෞකාව හරවා යැවීම සම්බන්දයෙන් ලංකාදීප වෙබ් අඩවිය පළ කළ වාර්තාව පහත දැක්වේ.

ඉන්ධන නැවක් ආපසු ගිහින්

ඉන්ධන පිරවුම්හල් ගැටළුවක් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමඟ නැවත ආපසු හැරී ගොස් ඇතැයි වාර්තා වේ.

එම්.ටී. හෆ්නියා ටයුරුස් නැමැති එම නෞකාව මෙම මස 2 වැනිදා මෙරට මුහුදු සීමාවට ළගාවී පසුගිය 6 වැනිදා නැවත පිටත්ව ගොස් තිබේ.

එම සමාගමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 150 ක් පැවරීමට පොරොන්දු වුවත් මේ දක්වා ඉන්ධන පිරවුම්හල් 70 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් දීම හේතුවෙන් ගැටලුවක් නිර්මාණය වී ඇති බවත් ඒ හේතුවෙන් අදාල සමාගම ඉන්ධන නෞකාව හරවා යවා ඇතැයි දැනගන්නට ලැබේ.

එම නෞකාව තුළ ඔක්ටේන් 92 ක පෙට්‍රල් සහ ඩීසල් මෙටි්‍රක්ටොන් 15,000 කින් තිබූ බවත් එම තොගය නොලැබීමෙන් කොළොන්නාව තොග පර්යන්ථය තුළ තුළ ඔක්ටේන් 92 ක පෙට්‍රල් තොගවල හිඟයක් ඇතිවී තිබෙන බවත් වාර්තා වේ.

මෙම තත්වයත් සමග ඔක්ටේන් 92 ක පෙට්‍රල් හිඟයක් ඇතිවුවහොත් ඒ වෙනුවට ඔක්ටේන් 95 ක පෙට්‍රල්, 92 පෙට්‍රල් වෙනුවට නිකුත් කිරීමේ සූදානමක් පවතින බව ද ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකර අධ්‍යක්‍ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ අදාල නෞකාව ඉන්ධන තොගය සමඟ නැවත හැරීයෑම සත්‍ය බවත් එම ඉන්ධන තොගය නොමැතිවීම ඛනිජ තෙල් තොග පර්යන්තයේ තොගවලට එතරම් බලපෑම් නොකරන බවත්ය.

එම ඉන්ධන තොගය නොමැතිවීම මත රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.