ආණ්ඩුව ක්‍රියාත්මක කරන “අස්වැසුම” මහජන සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අලුතින් 450,924ක් අයැදුම් කර ඇති බව වාර්තා වේ.

මේ වනවිටත් ලක්ෂ 18කට අධික පිරිසක් මෙම සහනාධාර ලබා ගනිමින් සිටින අතර ගෙවී ගිය වසර තුළ දී ජීවන තත්ව කඩා වැටුණු මෙම පිරිස අලුතින් අයදුම් කර ඇත. ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත් බව ආණ්ඩුව ප්‍රකාශ කළ ද ජනතාව මත අසීමිත පීඩනයක් එල්ල කර තිබේ.

මේ පිළිබඳව ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරල පසුගිය ඉරිදා දිවයින පුවත්පතට විශේෂ හෙළිදරව්වක් කර තිබිණි. එම ලිපිය සම්පූර්ණයෙන් උපුටා ගෙන පහත දැක්වේ.

වැල් පාලමෙන් ටයිටැනික් නැවට නැග්ග ජනතාව උද්ධමනයේ ගිලෙයි

2021-2024 අප්‍රේල් දක්වා
– 60.5% මාසික ආදායම පහළට
– 91% මාසික වියදම ඉහළට
– රටේ පවුල්වලින් 22%ක් ම ණයකාරයන්

රටේ ජනතාව මේ වනවිට වැල් පාලමෙන් එගොඩ වී ටයිටනික් නැවට ගොඩවී ඇත. මේ බව කියන්නේ අප නොව රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය. මේ දෙකෙන් වඩාත්ම භයානක වැල් පාලමද එසේ නැතිනම් ටයිටනික් නැවද යන්න ඉතා නුදුරේදීම ජනතාවට දැකබලා ගැනීමට හැකිවනු ඇත. වැල් පාලමේ ගමන් කරද්දී පාලම කඩා වැටුනොත් හෙලට වැටෙයි. සමහර විට වැල් පාලමේ ලණුවක එල්ලී ජීවිතය රැක ගැනීමට අවස්ථාව හිමිවනු ඇත. නමුත් ටයිටනික් නැවේ ගමන් කරද්දී නැව ගිලුණොත් ඉමක් කොනක් නොපෙනෙන මහ සයුරේ ජීවිතය රැක ගැනීම අතිශය දුෂ්කරය. මේ වනවිට ජනතාව ගෙවන්නේ අතිශය අසීරු කාලපරිච්ඡේදයකි.

එක පිට එක පැමිණි දුක් කරදර

කොරෝනා වසංගතය මෙන්ම ආර්ථික අර්බුදය හේතුවෙන් දහසකුත් එකක් ප්‍රශ්න පැමිණි බව සැබෑවකි. එක පිට එක පැමිණෙන දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ රටේ ජනතාව ජීවිතය ගෙනයන්නේ ඉතා සීරු මාරුවෙනි. පැමිණෙන ප්‍රශ්න හමුවේ ජනතාව තමන්ට ලැබෙන සොච්චම් පඩිය අර පිරිමැස්මෙන් වියපැහැදම් කිරීමට හුරුපුරුදුව සිටියත් හිටිහැටියේ කපටි ව්‍යාපාරිකයන් භාණ්ඩ මිල ඉහළ දැමීමත් සමඟ ජනතාව යළි පත් වන්නේ අන්ත අසරණ තත්ත්වයකටය.

ජනතාවට ලාභදායීම මිලකට පෝෂණ අවශ්‍යතාව සපුරා ගැනීමට තිබෙන එකම විකල්පය වන්නේ බිත්තර පරිභෝජනයයි. අද රුපියල් තිස්පහට මිලට ගත් බිත්තරය හෙට වෙළෙඳපලට පැමිණ බලන විට රුපියල් හැටකි, හැත්තෑවකි. රට ලූනු මිල ගත්තත් කියන්නට ඇත්තේ ඒ ටිකමය. සහල් මිල ගැන නම් කතාකර ඵලක් නැත. මේ දිනවල ජනතාවට ගණන් උස්සන්නේ පොල්තෙල් මුදලාලිලාය. විටින් විට මේ විදිහට බඩු මිල වැඩිවීම අසරණ ජනතාවට නම් කිසිසේත් දරාගත හැකි දෙයක් වන්නේ නැත.

ඒ බව සනාථ වන ඉතා සුවිශේෂී ප්‍රවෘත්තියක් පසුගියදා වාර්තා විය. මෙම ප්‍රවෘත්තිය අප සටහන් කරන්නේ කිසිසේත් අධිකරණයට අපහාස කිරීමටවත් අධිකරණ කටයුතුවලට කිසිදු ආකාරයකින් බාධා කිරීමකටවත් නොව සාමාන්‍ය ජනතාව පමණක් නොව සමාජයේ ඉහළ යැයි සම්මත ඉහළ වැටුපක් ලබන මිනිසුන්ට පවා දැන් පවතින ආර්ථික අර්බුදය දැඩිව බලපාන බව සනාථ කිරීම සඳහාය. ගල්කිස්ස අධිකරණ භූමියෙන් හොරට ජලය හා විදුලිය ලබාගත් විනිසුරුවරයෙක් පිළිබඳ ප්‍රවෘත්තියක් පසුගියදා වාර්තා විය. රටේ නීතිය පසිඳලන විනිසුරුවරුන්ටත් දැන් උදා වී ඇති තත්ත්වය එබඳු නම් සාමාන්‍ය පුරවැසියන් පිළිබඳ කවර කතාද. ඒත් සමගම තවත් දෙයක් සටහන් කළ යුතුමය. ඒ දැනට වාර්තා වන අන්දමට එම විනිසුරුවරයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ළමයි හය හත් දෙනෙක් සිටින සාමාන්‍ය පුරවැසියෙක් හොරෙන් විදුලිය ගෙන හසු වුවහොත් ඔහුට අත්වන ඉරණමත් විනිසුරුවරයෙක් විදුලිය හොරට ගෙන හසු වුවහොත් ඇතිවන තත්ත්වයක් එකක් නොව දෙකකි. සමහර විට ළමයි පස් හය දෙනෙක් සිටින, වෙන කරකියාගන්නම දෙයක් නැති තැන හොරෙන් විදුලිය ගත් සාමාන්‍ය පුද්ගලයාගේ නඩුවත් කාලයක් තිස්සේ රාජ්‍ය දේපළ අවභාවිත කළ විනිසුරුවරයා විසින්ම පසිඳලීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන ආකාරයට කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය ජුනි මාසයේ උද්ධමනය යළි ඉහළ ගොස් තිබේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මැයි මාසයේදී 0.9% ක්වූ උද්ධමනය 1.7% වැඩිවී තිබේ. ආහාර උද්ධමනය මෙන්ම ආහාර නොවන උද්ධමනයද වැඩිවී තිබේ. 2023 වර්ෂය අවසාන වන විට මෙරට රැකියාවන්හි නියුතු පිරිස ලක්ෂ 45 කට මඳක් වැඩිය. එයින් ලක්ෂ 35ක්ම සේවය කරන්නේ පෞද්ගලික අංශයේය. ලක්ෂ දහයකට අධික පිරිසක් රාජ්‍ය අංශය සතුව රැකියා කරන අතර ඊට අමතරව ආරක්ෂක අංශය වැනි අංශත් සමග සමස්ත රාජ්‍ය අංශයේ රැකියාවල නියුතු පිරිස ලක්ෂ 16කට ආසන්නය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසන්නේද 2021 වර්ෂයේ සිට 2024 අප්‍රේල් දක්වා කාලය තුළ රටේ උද්ධමනය 108% කින් වැඩිවී ඇති බවය. ඔහු ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක්ද කරන්නට විය.

වැඩි නොවන වැටුප්

“රටේ දැන් පවතින ජීවන වියදමට මුහුණ දීමට බොහෝ පිරිසකට අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඒ සඳහා හේතු වී ඇත්තේ වියදමට සාපේක්ෂව ඊට මුහුණ දීමට තරම් සුදුසු වැටුපක් හිමි නොවීමය. 2021 වසරෙන් පසුව බොහෝ ආයතන තුළ වැටුප් වැඩිවීමක් සිදුව නැත. රාජ්‍ය අංශයට නම් පසුගිය අයවැය මගින් රුපියල් 10,000 වැටුප් වැඩිවීමක් සිදු කළත් පෞද්ගලික අංශයේ බොහෝ සේවකයන්ට සත පහක වැටුප් වැඩිවීමක් සිදුවූයේ නැත. රටේ දැන් පවතින ජීවන වියදමට මුහුණ දීමට රුපියල් 10,000 වැටුප් වැඩිවීම කිසිසේත් ප්‍රමාණවත් නොවුණත් එය යම් තරමකින් හෝ අකලට වට පොද වැස්සක් බවට රාජ්‍ය අංශයේ සේවකයන්ට පත්ව ඇත.

“ආර්ථිකය නැවත යථා තත්ත්වයට ගන්න 108% පඩි වැඩි වීමක් අවශ්‍යයි” –
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල

වැල් පාලමෙන් ටයිටෙනික් නැවට නැග්ග ජනතාව උද්ධමනයේ ගිලෙයි

උද්ධමනයත් ඉහළට

2021 වර්ෂයේ සිට 2024 අප්‍රේල් දක්වා කාලය ගැන බැලුවහොත් උද්ධමනයේ වැඩිවීම 108%කි. 2021-2024 යනු මෙරට ජනතාව මෑත කාලයේ වැඩිපුරම දුක් විඳපු කාලයයි. එම දුක් විඳිල්ල තවමත් ඉවර නැත. 2021 දී රුපියල් 30,000 මුදලක් භාණ්ඩ මිලදී ගැනීමට වැය කළ පවුලකට එම භාණ්ඩ ප්‍රමාණයම දැන් මිලදී ගැනීමට නම් රුපියල් 62,500 ක මුදලක් අවශ්‍යය. එසේම 2021 දී රුපියල් 40,000ක් මාසයක් ජීවත්වීමට අවශ්‍ය බඩු මිලදී ගැනීම සඳහා වියදම් කළ පවුලකට දැන් එම භාණ්ඩ ප්‍රමාණයම මිලට ගැනීමට නම් රුපියල් 83,000 කට ආසන්න මුදලක් අවශ්‍ය ය.

ඊට ටිකක් ඉහළ පවුලක ජීවන වියදම ගෙන බැලුවහොත් මසකට භාණ්ඩ මිලදී ගැනීමට රුපියල් 100,000ක මුදලක් වැය කළ පවුලකට දැන් එම භාණ්ඩ ප්‍රමාණයම මිලදී ගැනීමට නම් රුපියල් 208,000 මුදලක් වැය කළ යුතුය. නමුත් ගැටලුව වන්නේ රුපියල් මසකට රුපියල් 30,000ක් වැය කළ පවුලට භාණ්ඩ මිලදී ගැනීමට රුපියල් 62,500 අවශ්‍ය වුවත් ඔවුන්ගේ ආදායම වර්ධනය වූයේ නැත. එසේම රුපියල් 40,000 වැය කළ පුද්ගලයාටත් රුපියල් 100,000ක් වැය කළ පුද්ගලයාටත් තමන්ගේ ආදායම දෙගුණයකින් වැඩි වූයේ නැත.

මෙම කාලය තුළ ආහාර කාණ්ඩයේ උද්ධමනය 131% කි. 2021 ආහාර සඳහා රුපියල් 20000ක් වැය කළ පුද්ගලයකුට දැන් එම ආහාර ප්‍රමාණයම මිලදී ගැනීමට නම් රුපියල් 46,000 ක මුදලක් වැය කළ යුතුය. සෞඛ්‍ය අංශයේ උද්ධමනය ගත්තත් එසේම ය. 2021 ඖෂධ සහ ප්‍රතිකාර සඳහා රුපියල් 10,000ක් වැය කළ පුද්ගලයකුට අද එම සේවාවන් ලැබීමට නම් රුපියල් 20,000ක් වියදම් කළ යුතුය.”

පසුගිය කාලය තුළ ජන ජීවිතයට වැඩිම බලපෑමක් එල්ල කළ ක්ෂේත්‍රය වූයේ ප්‍රවාහනයයි. ප්‍රවාහන ක්ෂේත්‍රයේ 2021 වර්ෂයේ සිට 2024 අප්‍රේල් දක්වා උද්ධමනය 138%කි. ඔබ මීට පෙර ප්‍රවාහනය සඳහා වියදම් කළ මුදල රුපියල් 10,000ක් නම් මේ වන විට රුපියල් 24000ක් ප්‍රවාහනය සඳහා වැය කළ යුතුව ඇත.

2021 රුපියල් 117 තිබුණු පෙට්‍රල් ලීටරය තවමත් පවතින්නේ රුපියල් 350කට ආසන්න මිලකය. ඩීසල් ගැන කියන්නට ඇත්තේත් ඔය ටිකමය. ඩීසල් සහ පෙට්‍රල් පසුගිය කාලයේ රුපියල් 500 කට ආසන්න මුදලක් දක්වා ඉහළ ගොස් දැන් යළිත් රුපියල් 100කට වැඩි මුදලකින් පහළ බැස තිබේ. නමුත් වැඩි වූ බස් ගාස්තුවවත් වැඩිවූ දුම්රිය ගාස්තුවවත් වැඩිවූ ත්‍රිරෝද රථ ගාස්තුවවත් පාසල් ප්‍රවාහන ගාස්තුවවත් ජනතාවට දැනෙන අකාරයෙන් අඩු වූයේ නැත. රුපියල් දහයකින් ඉන්ධන මිල ඉහළ ගියත් වැඩිවන බස් ගාස්තුව පසුගිය මාස දෙක තුළ පමණක් ඩීසල් මිල රුපියල් 46 කින් අඩුවී තිබියදීත් අඩුකළේ 5% වැනි සොච්චම් ප්‍රතිශතයකිනි. අඩුකළේ නැහැ කිව්වොත් වඩාත් නිවැරදිය. රුපියල් 30ට තිබුණු අවම ගාස්තුව රුපියල් 28කි. රුපියල් 50 ගාස්තුව රුපියල් 47කි. කොන්දොස්තරගේ අම්මා, තාත්තා ආවත් ඉතුරු රුපියල් 2-3ක නම් ලැබෙන්නේ නැත. තෙල් මිල වැඩිවන විට ගාස්තු ඉහළ දැමීමට පාලකයන්ට තිබෙන උනන්දුව තෙල් මිල අඩුවන විට ඇති නොවන්නේ බස් රථවලින් වැඩි ප්‍රමාණයක් දේශපාලනඥයන්ට හෝ ඔවුන්ට උදව් උපකාර කරන ඔවුන්ගේ හෙංචයියන් සතුව පැවතීම නිසා වන්නට පුළුවන. කොරෝනා වසංගතය සමයේ ආසන ගණනට මගීන් රැගෙන යන්න වැඩිකළ 20% බස් ගාස්තුවෙන් අඩුකළේ 10%ක් පමණි. පාලකයන්ට සැබෑ වුවමනාවක් තිබුණානම් මෙවර අඩුකළ 5% සමග එකතුකර 15%ක බස් ගාස්තුවක් අඩු කිරීමට හැකියාව තිබිණි.

මහාචාර්යවරයා පවසන්නේ අනෙකුත් ක්‍ෂේත්‍රවලට මෙන්ම අධ්‍යාපනයට වැය කිරීමට සිදුවන මුදලද 2021 සාපේක්ෂව ඉතා ඉහළ ගොස් ඇති බවය.

“අධ්‍යාපන ක්ෂේත්‍රයේ උද්ධමනය 2021 වර්ෂයේ සිට 2024 අප්‍රේල් දක්වා 87%කි. 2021දී අධ්‍යාපනයට රුපියල් 10000ක් වැය කළා නම් මේ වන විට ඒ සඳහා රුපියල් 19,000 කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුව ඇත.

ආදායම පහළ යන පවුල්

ශ්‍රී ලාංකික පවුල් මිලියන 5.7 න් 3.4 කගේම මාසික ආදායම පහළ ගොස් ඇත. මෙම කාලය තුළ මාසික ආදායම පහළ ගිය පිරිස 60.5%. එය සංඛ්‍යාත්මකව ගත්තොත් පවුල් ලක්ෂ තිස් හතරකි. රටේ සමස්ත පවුල්වලින් භාගයකට වඩා වැඩි පිරිසකගේ ආදායම පවතින්නේ පහළ මට්ටමකය. එසේම රටේ සමස්ත පවුල්වලින් 91%කම මාසික වියදම ඉහළ ගොස් ඇත. පවුල් ලක්ෂ 57න් පවුල් ලක්ෂ 51 කම වියදම වැඩි වී ඇත.”

මුළු රටම පවතින්නේ අවුල් ජාලයක් මැදය. හැම කෙනෙක්ම ජීවිතේ ගැට ගසා ගන්නේ බොහෝ අමාරුවෙනි. ඒ සඳහා විවිධ පුද්ගලයන් විවිධ උපක්‍රම යොදනු ලැබේ.

අර්බුදයෙන් ගොඩ එන්න විසඳුම් හොයන ජනතාව

ජනතාවගේ ආදායමත් වර්ධනය නොවී වියදමත් තුන් හතර ගුණයකින් වැඩි වූ විට ඕනෑම කෙනෙක් පළමුව කරන්නේ වියදම් කපා හැරීමය. බොහෝ පවුල් මේ වන විට කරමින් සිටින්නේ එම කාරණයයි. කලින් ප්‍රමිතියෙන් යුතු ඇඳුම් පැළඳුම්, කෑම බීම, බෙහෙත් හේත් භාවිත කළ පිරිස දැන් සොයන්නේ මිල අඩු ලාභ බඩුය. කලින් ප්‍රමිතියෙන් යුතු බෙහෙත් ගත් පුද්ගලයන් දැන් කරන්නේ නොමැරී ජීවත්වීමට අවැසි නිසා බාල බෙහෙත් වලට හුරුවීමයි. එයිනුත් ගොඩයෑමට බැරි තැන කරන්නේ තුන්වේලක් භාවිත කළ යුතු බෙහෙත දෙවේලකට අඩු කිරීමයි. මෙයින් සිදුවන්නේ රෝගය සුව වීම නොව තවත් රෝගය උත්සන්න වීම හා අතුරු ආබාධ රැසක් ඇතිවීමයි.

ජනතාව සෞඛ්‍ය සඳහා කළ වියදම් කපා හැරීම හොඳින්ම බලාගත හැකි වන්නේ රජයේ රෝහලක් වෙත ගිය විටය. වෙනදා හෙම්බිරිස්සාවක් හැදුනත් පෞද්ගලික රෝහල්වලට යන පිරිස් දැන් පැය ගණන් රජයේ රෝහල්වල දිගු පෝලිම්වල කල් ගෙවන්නේ එසේ වියදම් කරන්නට තරම් මුදලක් නොමැති නිසාය.

සෞඛ්‍ය වියදම් කපා හැරීම ප්‍රමාණවත් නොවන තැන බොහෝ ජනතාව ඊළඟට අකැමැත්තෙන් හෝ අධ්‍යාපනයට කරන වියදම් කපා හරී. වෙනදා පෞද්ගලික වාහනවලින් හෝ පාසල් ප්‍රවාහන රථ මගින් පාසල් ගිය ළමයි බොහෝමයක් දැන් පාසල් යන්නේ මාසික වාර ප්‍රවේශ පත්‍රයට පොදු ප්‍රවාහනය භාවිත කරමිනි.

දවසට තුන්වේලක් කාපු ජනතාව දැන් කන්නේ වේල් දෙකකි. ඒකත් යාන්තම් බඩ පුරව ගැනීමට පමණි. පෝෂ්‍යදායී ආහාර දැන් බත් පිඟානෙන් අතුරුදන්ව ඇත. වෙනදා බිත්තරයක් ලැබුණු පිඟානට දැන් ලැබෙන්නේ බිත්තරයෙන් හතරෙන් එකකි. බොහෝ ගෙවල්වල කරවල, මස්, මාළු වෑංජනයක් ඉදෙන්නේ නැති ගාණය.

අවසානයේ ණයකාරයන් වීම

වියදම් කපාහැර එයිනුත් ගොඩ එන්නට නොහැකි ඕනෑම පුද්ගලයෙක් ඊළඟට කරන්නේ කාට හෝ ණයවීමය. මෙරට ජනතාවගෙන් බහුතරයකට දැන් සිදුව තිබෙන්නේත් කාට හෝ ණය වීමටය. සමහරුන් විවිධ පුද්ගලයන්ට ණය වන අතර තවත් සමහරු බැංකු හෝ විවිධ මූල්‍ය ආයතනවලට ණය වෙති. රටේ පවුල් වලින් 22%ක්ම අද ණය වී ඇත. එම ප්‍රමාණය සමස්ත පවුල් වලින් ලක්ෂ 12.5කි.

ජනතාව තමන්ට එන ප්‍රශ්නවලට විවිධ ආකාරයේ පිළිතුරු සොයති. තමන් සොයන පිළිතුරු වල හරි වැරැද්ද දැකබලා ගැනීමට ලැබෙන්නේ කාලයක් ගිය පසුවය. සමහර ප්‍රශ්නවලට අප ලබාදුන් පිළිතුරුවල ප්‍රතිඵල මේ වන විටම ලැබෙමින් පවතී. දැන් උපදින ළමුන්ගෙන් වැඩි පිරිසකට නිසි බර නැත. සිටින ළමුන්ටත් මන්ද පෝෂණය ය. ඊට අමතරව ප්‍රතිශක්තිකරණයෙන් අඩු ප්‍රජාවක් බිහිවීමේ අවදානමක් පවතී.

අනෙක් පැත්තෙන් ණයකාරයන් වීම හේතුවෙන් පවුල් ආරවුල් විශාල වශයෙන් වර්ධනය වී ඇත. මේ වනවිට දිනකට දික්කසාද වන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මේ සඳහාද මූල්‍ය අර්බුදය දැඩි බලපෑමක් එල්ලකර තිබේ. ඒ පිළිබඳවද ඔහු කියන්නේ මෙසේය.

“එක පැත්තකින් ජනාධිපතිවරයා රටේ බංකොලොත්භාවය අවසන් යැයි ප්‍රකාශ කරන අවස්ථාවේ තවත් පැත්තකින් දුප්පත්කම පැටව් ගහන තත්ත්වයක් උද්ගතව ඇත. නවතම ලෝක බැංකු වාර්තාවට අනුව මෙරට පවුල්වලින් 25.9% දරිද්‍රතා මායිමට පහළින් පසුවේ. මෙම වර්ගීකරණයට අනුව රුපියල් 16,619 කෑම බීම, ඉඳුම් හිටුම් සහ ඇඳුම් පැළඳුම්වලට ඇතුළත්ව අවම පහසුකම් යටතේ මාසයක් ජීවත් විය හැක. 2019 වසර වනවිට එම අගය පැවතුනේ රුපියල් 6976 වශයෙනි.

රුපියල් 16,619 මුදලකින් මාසයක් ජීවත් විය හැකිදැයි ඔබම කල්පනා කර බැලිය යුතුය. රජය පවසන පරිදි සිව් දෙනකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත්වීමට රුපියල් 65000ක් ප්‍රමාණවත්ය. එම මුදල මාසයක් ජීවත්වීමට කිසිසේත් ප්‍රමාණවත් නොවුණත් කනගාටුවට කරුණ වන්නේ බොහෝමයක් සිව් දෙනකුගෙන් යුත් පවුල්වල මාසික ආදායම රුපියල් 40,000 – 50,000 අතර පැවතීමය.

“රජය විසින් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ පඩි ගෙවීම සඳහා 2022 වර්ෂයේදී රුපියල් බිලියන 956 පමණ මුදලක් වැය කළා. එය 2023 වර්ෂය වන විට රුපියල් බිලියන 986 දක්වා වැඩි වුණා. 2024 වසර වන විට එම ප්‍රමාණය රුපියල් බිලියන 1127 දක්වා වැඩි වී තිබෙනවා. එය රජයේ මුළු වර්තන වියදම්වලින් 21%ක්. එක පැත්තකින් රජයේ සේවකයන්ට පඩි ගෙවා ගැනීමට අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇති අවස්ථාවක අනෙක් පැත්තෙන් ජනතාවට ජීවත්වීමට නොහැකි වටපිටාවක් නිර්මාණය වී තිබෙනවා.

ඒත් සමග මේ වන විට රට පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ඇතිවන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවය කරන ස්ථාවර ආදායම්ලාභීන් දෙවන ආදායම් මාර්ගයක් හිමි නොවේ නම් ලැබෙන වැටුපෙන් පමණක් ජීවත් විය යුතුයි. එවැනි පිරිස් මේ වන විට දැඩි අසීරු තත්ත්වයකට පත්වී තිබෙනවා. කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා අංශවල කඩා වැටීමෙන් විශාල පිරිසකට ආදායම අහිමිවුණා වගේම රැකියා අහිමිවීමක්ද සිදුවුණා.

උද්ධමනයට සාපේක්ෂව වැටුප් වැඩි නොවීම හේතුවෙන් බොහෝ පිරිසක් රට හැර යන තත්ත්වයකට පත් වී සිටිනවා. ඒ වගේම විවිධ සමාජ අරගල පවා ක්‍රියාත්මක විය හැකියි. මාසික වැටුප් ලබන පිරිසේ තත්ත්වය මේ විදිහට වුණත් දිනපතා කුලී වැඩ ආදියෙන් මුදල් උපයා උපයාගන්නා පිරිස, වතුකරයේ ප්‍රජාවගේ තත්ත්වය මීටත් වඩා දුක්ඛිතයි.

රටේ ජනතාව යළි 2021 වසරේ සිටි තත්ත්වයට පත්වීමට නම් අවම වශයෙන් 108% වත් පඩි වැඩිවීමක් අවශ්‍යයි. නමුත් කනගාටුවට කරුණ වන්නේ රාජ්‍ය, පෞද්ගලික යන දෙඅංශයේම වැටුප 108%කින් වැඩි කළත් කුලී වැඩ කරන පිරිසට එවැනි වැටුපක් හිමි නොවීමයි.” රටේ පවතින තත්ත්වය එසේය. එහෙත් මේ වනවිටද අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් ක්‍රමය අඩුවන ආකාරයක් දක්නට ලැබේ. ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ හේතුවෙන් විය හැක