පැරණි සෝවියට් සංගමයට අයත් ජෝර්ජියාවේ ඔක්තෝම්බර් 27වනදා පැවති මැතිවරණයෙන් පාලක “ජෝර්ජියානු සිහිනය” පක්‍ෂය ජයග්‍රහණය කර ඇති බව වර්තා වේ.
එම පක්‍ෂය ලබා ගත් චන්ද ප්‍රතිශතය 54.08%ක් වන අතර යුරෝපා සංගමයට හිතවත් ඒකාබද්ධ විපක්ෂය වන (MNU) 37.58%ක් ලබා ගෙන ඇත. මෙම මැතිවරණය රුසියානු හිතවත් හා යුරෝපා සංගමයට හිතවත් ලෙස රටේ ප්‍රධාන පක්‍ෂ දෙකේ තරඟයක් ලෙස පැවතී බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. චන්ද ප්‍රථිපල නිරීක්ෂණය කිරීමෙන් පසු ප්‍රධාන විපක්ෂ සංධානය(MNU) ප්‍රථිපල පිළිගැනීම ප්‍රතික්‍ෂේප කර ඇත්තේ “ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයක්” හා “බලය බලහත් කාරයෙන් පැහැර ගැනීමක්” ලෙස හඳුන්වමිනි.

කෙසේවෙතත් පාලක “ජෝර්ජියානු සිහිනය” පක්‍ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බව මැතිවරණ කොමිසම ඉරිදා නිවේදනය කළේය.

මැතිවරණය ජයග්‍රහණය කළ දක්ෂිණාංශික රුසියානු හිතවාදී ප්‍රකෝටිපතියෙකු වන Bidzina Ivanishvili, ජෝර්ජියාව පාලනය කරනුයේ වසර 10ක කාලයක සිටය. මැතිවරණය ප්‍රකාශයට පත් කළ දා සිටම 2024 පාලක පක්‍ෂය පෙරලා දැමීම සඳහා විපක්‍ෂ සංධානය දිගින් දිගටම පෙළපාලි හා උද්ඝෝෂණ කැඳවනු ලැබුවේ “රුසියානු ඇඟිලි ගැසීම්”වලට හා “විදේශ ඔත්තුකරුවන්ට එරෙහිව” මෙන්ම රුසියාවේ ආක්‍රමණයට එරෙහිව යුරෝපා සංගමයට හා නේටෝවට ඇතුළුවීම සඳහා බල කරමිනි. එයට පිළිතුරු ලෙස පාලක “ජෝර්ජියානු සිහිනය” පක්ෂය ඔක්තෝම්බර් 23දා දැවැන්ත ජනතා රැළියක් කැඳවමින් විපක්‍ෂයේ යුරෝපා උන්මාදය හෙලා දකිනු ලැබුවේ “යුරෝපා සංගමය යනු ලෝක යුද්ධ අවුලවන මාෆියා කල්ලියක්” ලෙස හඳුන්වමිනි.

මිලියන 04ක ජනගහණයෙන් යුක්ත ජෝර්ජියාව පිහිටා තිබෙනුයේ කැස්පියන් තෙල් කලාපයේ කළු මුහුදට සමීපව වේ. ජෝර්ජීයාව යනු වර්තමානය වනවිට තෙල් සම්පත හේතුවෙන් බෙදුම්වාදී ව්‍යාපාර වල ඍජු තර්ජනයට ලක් වී ඇති රාජ්‍යයකි. විශේෂයෙන් 2008 සිදුවූ රුසියානු ආක්‍රමණය මගින් අබ්කාසි හා දකුණු ඕසියාව ලෙස වෙනම රාජ්‍යයන් දෙකක් එරට තුල ඇති කලත් ජාත්‍යන්තර ප්‍රජාව ඒවා රටවල් ලෙස පිළිගැනීම ප්‍රතික්‍ෂේප කරන ලදී. පාලක “ජෝර්ජියානු සිහිනය” පක්‍ෂය තම මැතිවරණ ප්‍රචාරක ජාලය තුළ නව යුක්රේනයක් බවට ජෝර්ජියාව පත් වීම වැළැක්වීම සඳහා ක්‍ර්මේලන් පාලනය සමග හොඳ හිත තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය බවට දැඩිව අවධාරණය කර තිබිණි.

පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව ජාතිය ඇමතු ජනාධිපති Bidzina Ivanishvili, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ලැබීම පිළිබඳව තම සතුට ප්‍රකාශ කර සිටියේය. කෙසේ වෙතත් ඊයේ රාත්‍රිය වන විට විපක්ෂය පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය.

“සොරකම් කරන ලද මැතිවරනයේ විකෘති ප්‍රතිඵල අපි පිළිගන්නේ නෑ”, විපක්ෂ සභාගයේ පක්ෂ හතරෙන් එකක් වන එක්සත් ජාතික ව්‍යාපාරයේ (UNM) ප්‍රධානී Tina Bokoutchava මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලේය.

“බලය උදුරා ගැනීමක් සහ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක්” ලෙස හෙලා දකිමින්, සංධානයේ තවත් පක්‍ෂයක් වන අකාලි පක්ෂයේ නායක නිකා ග්වාරමියා, පවසන්නේ විපක්ෂය 55%-60% කින් ජයග්‍රහණය කර ඇති බවයි.

“මැතිවරණ කොමිසම විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද ප්‍රතිඵල වලින් පෙන්නුම් කරන පරිදි, පාලක ජෝර්ජියානු සිහිනය පක්‍ෂය නව පාර්ලිමේන්තුවේ ස්ථිර බහුතරයක් ලබා ගෙන ඇත”, යයි එම පක්ෂයේ විධායක ලේකම්, Mamuka Mdinaradze සෙනසුරාදා සවස මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ආසනවලින් හතරෙන් තුනක් ලබා ගැනීමට අවශ්‍ය වේ. එම ව්‍යවස්ථා සංශෝධන සැලැස්ම යටතේ බටහිර ගැති විරුද්ධ පක්ෂ තහනම් කිරීමටද රජය පියවර ගන්නා බව ඡන්දයට පෙර ප්‍රකාශ කර සිටියේය.

චන්ද පෙට්ටි මාරු කිරීම, චන්ද හොරට දැමීම, චන්ද පලවල ගැටුම් ඇතිවීම් යන චෝදනා මත පදනම්ව මේ වන විට මැතිවරණ පෙත්සම් 133ක් එරට මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් වී ඇත. චන්ද ප්‍රථිපලය සම්බන්ධයෙන් යුරෝපා සංගමය තවමත් කිසිදු නිවේදනයක් සිදු කර නොමැති නමුත් මේ වනවිට රුසියාවට සහය දීම හේතුවෙන් යුරෝපා සංගමය සමග ගැටුමක සිටින හංගේරියාවේ අගමැති viktor Orban, හා අසර්බයිජානය ජෝර්ජියානු ජනාධිපති Bidzina Ivanishviliහට සුබ පතා ඇත.