මෙරට සිටින ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි (Mizukoshi Hideaki), ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවීම සඳහා අද (19) ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානය වෙත පැමිණ තිබෙනවා. 

බත්තරමුල්ල, පැලවත්ත පිහිටි එම මූලස්ථානයේ දී ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Katsuki Kotaro සහ දෙවැනි ලේකම්වරිය වන Imai Kaori ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මන්ත්‍රීවරයාද එක්ව සිටියා. 

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය දීර්ඝ ලෙස දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් වූ අතර එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳවද අවධානය යොමුවූ බවද වාර්තා වේ . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය ජපාන රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්ට මෙහිදී පැහැදිලි කර දෙනු ලැබූ අතර ඉදිරියටද ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට ජපානයේ ඇති සූදානම ජපාන නියෝජිත පිරිස විසින් අවධාරණය කරන ලද බව වාර්තා වෙනවා.