2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ඉදිරිපත් වන බව සජබ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා. ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව සටහන තබා ඇත්තේ අද (25) අලුයම 2.14ට යි.

“ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලා ඇති අතර ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඉල්ලීම පිළිගැනීමට මම බලා සිටිමි” මුලින් සටහන් කළ මන්ත්‍රීවරයා ඊට ටික වෙලාවකට පසුව සටහන් කළේ “මගේ ජනාධිපති අපේක්ෂකත්වය ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රකාශ කිරීමට මම කැමැත්තෙමි” යනුවෙන්.

“වසර 76 ක් තිස්සේ අපව බංකොලොත් භාවයට ගෙන ගිය අකාර්යක්ෂම දේශපාලන කණ්ඩායමක් විසින් අපව මෙහෙයවනු ලැබුවා. ශ්‍රී ලංකාව සංවර්ධනය වීමට නම්, අපි දූෂණය නතර කළ යුතුයි.

ආදායම් උත්පාදනය ඉහළ නැංවීම සඳහා අපගේ ස්වභාවික සම්පත් උපයෝගී කර ගත යුතුය.

මෙය 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මගේ විධිමත් සහ නිල නිවේදනය යි” ඔහු සඳහන් කරනවා.