ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස් දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසා තිබෙනවා. ඔහු පවසා ඇත්තේ, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට අවි ආයුධ ලබාදී ඇත්තේ එවැනි ක්‍රියා පාලනයට බවයි.

ඡන්ද විමසීම පැවැත්වෙන දින සහ ඊට පසුව රටේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දැනටමත් සකස් කර ඇති බවත් මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව ත්‍රිවිධ හමුදාවද යොදවා ගන්නා බවත් ටිරාන් අලස් මහතා සඳහන් කරනවා.

මේ අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේ දී ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට නියමිතව තිබෙනවා. මැතිවරණ රාජකාරි සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළු පිරිසක් යෙදවීමටද නියමිත බවයි කියන්නේ.