නිවස බලා ගමන් කරමින් සිටි උතුරේ යතුරුපැදි කරුවෙකුට මරණය අත්කර දුන් අනතුරට හේතුව පලාලි පොලීසියට අනුයුක්තව සේවය කරන රථ
වාහන පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් සිදු කළ පහර දීමක් බවට දෙමළ ජනතා නියෝජිතයකු චෝදනා කර තිබේ.
සාක්ෂි වසන් කිරීම සදහා ඇසින් දුටු සාක්ෂිකරුවන්ට තර්ජනය කරන බවටත් එම මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන චුන්නාක්කම් පොලීසියට චෝදනා එල්ල වී ඇත.
පොලීසිය විසින් ලුහුබැඳ ගොස් සිදු කළ පහරදීමකින් හතලිස් එක් හැවිරිදි සෙල්වනායගම් ප්‍රදීපන්ගේ මරණය සිදුව ඇති බව මැයි 13 වැනිදා පාර්ලිමේන්තුවේදි කියා සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් පොලිස් නිලධාරීන්ගේ නිල අංකද සදහන් කරමින් ඉල්ලා සිටියේ ඔවුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.
“යාපනයේදී පොලිස් නිලධාරීන් දෙන්නෙක් මෝටර් සයිකලයකින් යමින් සිටි පුද්ගලයකු ලුහුබැඳ ගොස් ඔහුට පයින් පහරදීම නිසා එයා කොන්ක්‍රීට් කණුවක හැප්පිලා මැරිලා. ඒ පොලිස් නිලධාරීන්ගේ අංක PC 76512, PC 71799 මේ පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගත යුතුයි. මේ පොලිස් අරාජික කම් පාලනය කළ යුතුයි.”
පළාත් බද වාර්තාකරුවන් පවසන පරිදි යාපනය, උරුම්පිරායි පදිංචිකරුවකු වන 41 ක් හැවිරිදි සෙල්වනායගම් ප්‍රදීපන් මැයි 10 වැනිදා හවස් යාමයේ සිය නිවෙස බලා ගමන් කරමින් සිටියදී මරණයට පත්ව ඇත්තේ උරුම්පිරායි හන්දියේ පිහිටි ගණදෙවි කෝවිල අසල දී ලයිට් කනුවක හැපීමෙනි.
විදුලි බල මණ්ඩලයේ කිලිනොච්චි කාර්යාලයේ රාජකාරි කරන සෙල්වනායගම් ප්‍රදීපන් එදින සිය කුඹුරේ වැඩ කටයුතු හමාර කරමින් නිවෙස බලා යමින් සිටියදී මාර්ගයේ රාජකාරි යෙදී සිටි රථවාහන පොලීසියේ නිලධාරීන් දෙදෙනකු යතුරු පැදිය නවත්වන ලෙස සිදු කළ නියෝගය නොතකා ඔහු ගමන් කිරීමේ දී ඔහු ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහුට එල්ල කළ පා පහරක් හේතුවෙන් අසල තිබු විදුලි කනුවක ගැටුනු බව ප්‍රදේශවාසීන් පළාත් බද වාර්තාකරුවන් සමග පවසා තිබේ.
අනතුරට ලක්වු පුද්ගලයා කඩිනමින් රෝහල් ගත කරන ලෙස සිද්ධිය ඇසින් දුටුවන් පලාලි පොලීසියට අනුයුක්තව රාජකාරි කළ එම පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් ඉල්ලා සිටියත් ගිලන් රථයක් පැමිණෙන තෙක් ඔවුන් දෙදෙනා ඒ වෙනුවෙන් කටයුතු නොකළ බවට චෝදනා කරන ප්‍රදේශවාසීන් පළාත් බද වාර්තාකරුවන් සමග වැඩි දුරටත් පවසා ඇත්තේ ඔවුන් දෙදෙනා යතුරු පැදියෙන් ගමන් කළ පුද්ගලයාට පා පහර දෙන ආකාරය කිහිප දෙනකු විසින්ම දැක තිබු බවයි.
අනතුර සිදුවී විනාඩි 15 ට පමණ පසුව එම ස්ථානයට පැමිණි ගිලන් රථයෙන් තෙල්ලිප්පලෙයි රෝහල වෙත රැගෙන යමින් සිටියදී සෙල්වනායගම් ප්‍රදීපන් මියගොස් තිබේ.
(TheLeader.lk)