රජයට අය කර ගත හැකිව තිබූ එහෙත් මේ දක්වා අය කර ගැනීම අත්හැර දමා තිබෙන අවම වශයෙන් රුපියල් කෝටි 98,000ක බදු මුදල් අය කර ගැනීමට ක්‍රියා කිරීම පසෙක තබා මුදල් රාජ්‍ය ඇමති ප්‍රමුඛ පිරිසක් වෙනත් කරුණු ඉදිරිපත් කරමින් මඟහැර යාමේ න්‍යායක් අනුගමනය කරමින් සිටිති.

විශේෂයෙන් ම මුදල් ඇමති රංජිත් සියඹලාපිටිය සහ ශෙහාන් සේමසිංහ බදු පොලුකාරයන් ආරක්ෂා කිරීමේ ප්‍රමුඛයන් වී සිටී. විගණකාධිපතිවරයා විසින් 2022 වර්ෂය සඳහා ඉදචිරිපත් කළ වාර්තාවෙන් රජයට අය කර ගත හැකිව තිබෙන රුපියල් කෝටි 90,400ක බදු මුදල් ප්‍රමාණයක් අය කර ගෙන නැති බව මුලින්ම අනාවරණය කරනු ලැබීය. ඒ බව හෙළිකර වසරකටත් වඩා වැඩි කාලයක් ගතවී තිබුණ ද එම බදු හොරුන් නිදැල්ලේ සිටිති.

මේ අතර පාර්ලිමෙන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ වාර්තාවකින් හෙළිකර තිබෙන්නේ රුපියල් කෝටි 98,000ක අයකර ගත හැකි බදු මුදලක් අය කර ගැනීම අත්හැර දමා තිබෙන බව ය. රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති විසින් මාර්තු 25 වෙනි දින නිකුත් කළ ගැසට් නිවේදනයක් අනුව ආනයනික සහල් කිලෝවක් සඳහා අය කරමින් රුපියල් 65ක බදු මුදල රුපියල් 1ක් දක්වා පහත දැමූයේ තව දුරටත් බදු පොලු තබන්නන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමිනි.