ආන්දෝලනයකට තුඩු දී තිබෙන විරංජිත් තාඹුගල නමැත්තාගේ කළු සල්ලි ජාවාරම් සම්බන්ධයෙන් විවෘත අධිකරණයේ දී දේශපාලනඥයන් රැසකගේ නම් හෙළි වී තිබේ.

මේ පිළිබඳව අද (30දා) නිකුත් කරන ලද ‘අද’ පුවත් පතෙන් හෙළි කර තිබෙන්නේ අනුරාධපුර, විවෘත අධිකරණයේ දී විරංජිත් තාඹුගල විසින් තොරතුරු රැසක් හෙළි කර ඇති බවයි. දේශපාලනඥයන්ට අමතරව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ ම නිලධාරීන් ද ප්‍රකෝටි ගණන් අල්ලස් ලබා ගත් බවට විරංජිත් තාඹුගල හෙළි කර ඇත.

ඒ අතුරින් හිටපු ඇමැතිවරයකු වූ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂ සහ රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහාලේකම්, පාලිත රංගේ බණ්ඩාරගේ සම්බන්ධතා පිළිබඳව ද හෙළි වී තිබේ. මේ සම්බන්ධයෙන් ‘අද’ පුවත් පත වාර්තා කර තිබූ තොරතුරු මෙසේ ය: “දවසක් ජනාධිපති නීතිඥ, විජේදාස රාජපක්‍ෂ මහත්මයාගේ පුතා නීතිඥ රඛිත රාජපක්‍ෂයි, පාලිත රංගේ බණ්ඩාරගේ බෑනා වන නීතිඥ එරංග වැලිඅංගගේයි දෙන්නා මාව හමුවන්න ඇවිත්, මට කිව්වා, මුදල් විශුද්ධිකරණ පනත යටතේ මට විරුද්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කරලා තිබෙන බව.” මේ ආදී වශයෙන් තොරතුරු වාර්තා කර තිබෙන අතර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණ නැවැත්වීමට නම්, රුපියල් කෝටි 30ක මුදලක් කප්පම් වශයෙන් ලබා දෙන ලෙස රඛිත රාජපක්‍ෂ සහ එරංග වැලිඅංගගේ තාඹුගලට දන්වා ඇති බව අධිකරණයේ දී ප්‍රකාශ කර ඇතැයි එම පුවත් පතෙන් වාර්තා කර තිබිණි.