බස් රථයක ගමන් ගන්නා මගියෙකු හට අයිතිවාසිකම් 14ක් පවතින බවත්, එම 14 උල්ලංඝණය කරන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවත්, යළිත් අවධාරණය කර තිබේ.

බීබීසී සිංහල වෙබ් අඩවිය ඒ බව අවධාරණය කරමින් පළ කරන විශ්ලේෂණාත්මක සටහන උපුටා ගෙන පහත දැක්වේ.

කටුබැද්දේදී බස් හිමියෙකු මගියෙකුට පහරදීම: මගී අයිතිවාසිකම් කඩවුණොත් ඔබ කළ යුත්තේ කුමක් ද?

කොට්ටාව – ගල්කිස්ස මාර්ග අංක 255 දරන බස් රථයක් පිළියන්දල නගරයේ අඩ පැයකට ආසන්න කාලයක් නවතා තැබීම හේතුවෙන් ඒ පිළිබඳව විමසා සිටි මගියෙකුට වූ සිද්ධියක් ඔහු විසින් සිය ෆේස්බුක් පිටුවෙහි සටහන් කර තිබිණි.

“ගල්කිස්ස දක්වා ධාවනය කළ යුතු බස් රථය කටුබැද්ද හංදියෙන් නවතා සියලු මගීන් බස්වා බස් රථයේ කොන්දොස්තරගෙන් ප්‍රශ්න කළ මගීන් කවුරුන් දැයි සොයන්නට බස් රථයේ රියැදුරු, තවත් සහයකයෙක් සහ ඔහුගේ ම තවත් බසයක රියැදුරු සහ කොන්දොස්තර සමග සහයට තවත් පිරිසක් රැගෙන දෙනෝ දාහක් බලා සිටියදී කටුබැද්ද හන්දිය ඔවුහු දෙවනත් කළෝ ය. එහිදී මා වට කර ගත් පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් මට නොනවත්වා පහර දුන්හ. පහරදීම්වලින් මගේ හිසට, ගෙළ පෙදෙසට සහ අතට තුවාල සිදුවිය.

මේ වන විට අදාළ මගියා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ගල්කිස්ස පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ද ගොනු කර තිබේ.

ඔහු පවසන ආකාරයට බස් රථයේ රියැදුරු ඔහුට මරණ තර්ජන පවා එල්ල කර ඇති අතර, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

බස් රථයේ ගමන් වාර තහනම් කෙරේ

මෙම පහර දීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබීමෙන් පසු වහා විමර්ශනයක් ආරම්භ කරන ලෙස ජාතික ගමනාගමන කොමිසම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට උපදෙස් දුන් බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

අප කළ විමසීමකදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා ප්‍රකාශ කළේ, “මේ වන විටත් අදාළ බස් රථයේ ගමන් වාර අත්හිටුවා ඇති” බව ය.

“පහර දීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සිද්ධ වෙනවා. ඒ අනුව සිවිල් නීතිය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගනියි. ඊට අමතරව, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අවශ්‍ය පියවර ගන්නවා. දැනටමත් බස් රථයේ ගමන් වාර අත්හිටුවලා තියෙන්නේ.”

පහර කෑමට ලක්වූ මගියා පෙන්වා දෙන්නේ, “ප්‍රාදේශීය මැරයින් හා දේශපාලන හෙංචයියන්” අතට මගී ප්‍රවාහන බලපත්‍ර ලබා දීම ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ මෙවැනි අර්බුද ඇති වීමට හේතු වී ඇති බව ය.

රියැදුරු කැඳවයි

මෙම සිද්ධියට අදාළ බස් රථයේ රියැදුරුවරයා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අද පස්වරුවේ කැඳවූ බව එහි සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා පැවසීය.

ඔහු සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හෙට දිනයේදී නැවත පැමිණෙන ලෙස රියැදුරුවරයාට සහ සහයකයාට දැනුම් දී ඇති බව ය.

මේ අතර, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට ඇතැම්හු සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබිණි.

කෙසේ වෙතත්, මෙම සිද්ධියේදී පමණක් නොව තමන්ට ලැබෙන සියලු පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සමාන්‍යාධිකාරීවරයා පැවසීය.

දිනකට එවැනි පැමිණිලි 30ක් පමණ ලැබෙන බවත් පැමිණිලි අංශය හරහා ඒවා විමර්ශනය කෙරෙන බවත් ඔහු සඳහන් කළේ ය.

මගී අයිතිවාසිකම්

වගකීම්සහගත පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීම සඳහා බස් මගීන් තමන් සතු අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් විය යුතු ය.

පොදු ප්‍රවාහන සේවාවක් ලබා ගන්නා මගීන් සතු අයිතිවාසිකම් මොනවා ද යන්න ජාතික ගමනාගමන කොමිසම මෙසේ පැහැදිලි කර තිබේ.

එම කොමිසම මගීන් සතු අයිතිවාසිකම් 14ක් සඳහන් කරයි.

  • ගමන ආරම්භයේදී බස් රථය බස් නැවතුම්පොළින් පිටත්වීමට පෙර ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීමේ අයිතිවාසිකම ඔබ සතුවේ.
  • බස් රථයට නැගි ස්ථානය හා බැස යන ස්ථානය, නියමිත බස් ගාස්තුව, දිනය, බස් රථ අංකය පැහැදිලිව සඳහන් විධිමත් ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමේ අයිතිය ඔබ සතු වේ.
  • ඔබ විසින් ගෙවනු ලැබූ ගාස්තුවට අදාළ ගමනාන්තය දක්වා ආරක්ෂාකාරීව බස් රථයේ ගමන් ගැනීමේ අයිතිය ඔබ සතු වේ.
  • විධිමත් ඇඳුමකින් සැරසුණු විනීත රියැදුරුවරයෙකුගේ හා කොන්දොස්තරවරයෙකුගේ ආචාරශීලී, ප්‍රියමනාප සේවය ඔබ වෙත ලැබිය යුතු ය.
  • සාමාන්‍ය සේවා බස් රථයක නම් වයස අවුරුදු 3ට වැඩි 12ට අඩු දරුවන් සඳහා නියමිත ගාස්තුවෙන් අඩක් (භාග ටිකට්පතක්) ගෙවා බස් රථයේ ගමන් ගැනීමට හැකි විය යුතු ය.
  • සුඛෝපභෝගී බස් රථයක් නම්, ප්‍රමාණවත් වායු සමීකරණ පහසුකම් පවතින, අනුමත ආසන ගණන නොඉක්මවන මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කරනු ලබන සේවාවක් අත්විඳීමට ඔබට හැකි විය යුතු ය.
  • පොදු ප්‍රවාහන සේවා තුළ දුම්බීම තහනම් බැවින්, දුම්වැටි දුමෙන් තොර පරිසරයක ගමන් කිරීමට ඔබට අයිතියක් ඇත.
  • බස් රථය අධික වේගයෙන්, නොසැලකිලිමත් ලෙස හා අනතුරුදායක ලෙස හෝ මාර්ග නීති උල්ලංඝණය කරමින් පදවන්නේ නම් එයට විරුද්ධ වීමේ අයිතිය ඔබ සතු වේ. බස් රථය ධාවනය කරන අතරතුරදී රියැදුරුවරයා ජංගම දුරකතනය භාවිත කරන්නේ නම් එයට විරුද්ධ වීමට ද ඔබට අයිතියක් ඇත.
  • ගුවන් විදුලි යන්ත්‍රය හැර වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ භාවිත නොකරන බස් රථයක ගමන් කිරීමේ අයිතිය ඔබ සතු ය. බස් රථය තුළ ගුවන් විදුලි යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නම් එකී ගුවන් විදුලි යන්ත්‍රයේ ශබ්දය ඩෙසිබල් 80ක් නො ඉක්මවන ලෙස භාවිත කරනු ලබන බස් රථයක ගමන් ගැනීමට ඔබට අයිතියක් ඇත.
  • බස් රථය ධාවනය කරනු ලබන්නේ බලපත්‍ර දෙපාර්තමේන්තුවේ අධිකාරිය යටතේ බැවින්, බස් රථය ධාවනය කෙරෙන අතරතුර එහි දොරවල් වසා තිබෙන බවට තහවුරු කර ගැනීමට ඔබට හැකි විය යුතු ය.
  • මගියා බස් රථයේ වැදගත් ම පුද්ගලයා වන බැවින් ආචාරශීලී, සුහද සේවයක් ඔහුට/ඇයට ලැබිය යුතු ය.
  • මතින් සේවයට වාර්තා නොකරන්නා වූ බස් සේවක පිරිසකගේ සේවය ඔබට ලැබිය යුතු ය.
  • අර්ධ සුඛෝපභෝගී බස් රථවල අනුමත ආසන ගණන නොඉක්වමවන මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කළ යුතු ය.
  • කාල සටහනට අනුව නියමිත වේලාවට බස් රථය ගමන් ඇරඹීම හා ගමන් අවසාන කිරීම සිදු කළ යුතු ය. ගමන් ඇරඹීමට නියමිත වේලාව හා ගමන අවසන් කිරීමට නියමිත වේලාව බස් රථයේ ප්‍රදර්ශනය කළ යුතු ය.

ඉහත සඳහන් අයිතිවාසිකම් උල්ලංඝණය වන අවස්ථාවකදී මගී ඔබ කළ යුත්තේ කුමක් ද?

ඉහත සඳහන් කර ඇති මගී අයිතිවාසිකම් උල්ලංඝණය වන ඕනෑ ම අවස්ථාවක ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ අයිතිය මගියා සතු බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

ඉහත විස්තර කළ සිද්ධියේදී අදාළ මගියා උත්සහ කර තිබුණේ, මගී අයිතිවාසිකම් පිළිබඳව බස් රථයේ රියැදුරුවරයාට සහ සහයකයාට පැහැදිලි කිරීමට ය.

එහෙත්, ඔහු එහිදී ප්‍රහාරයට ලක්වී තිබිණි.

මගී ප්‍රවාහන බස් රථයක් සම්බන්ධයෙන් වන පැමිණිලි 1955 දුරකතන අංකය අමතා ගාස්තුවකින් තොරව දැනුම් දිය හැකි ය.

ඊට අමතරව, ජාතික ගමනාගමන කොමිසමේ වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් ඔස්සේ ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි ය.

පැමිණිලි සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග

“1955 දුරකතන අංකය හෝ ඔන්ලයින් හරහා අපට යම් පැමිණිල්ලක් කළා ම ඒක ලේඛනගත කර ගන්නවා. ඊට පස්සේ අපි ඒ ගැන විමර්ශනයක් කරනවා,” ජාතික ගමනාගමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

එවැනි අවස්ථාවකදී බස් හිමියන්ගේ පාර්ශවය වරදක් කර ඇතැයි අනාවරණය වුවහොත් විමර්ශනය සඳහා වැය වුණු මුදල් අය කර ගනු ලැබේ.

ඊට අමතරව, ජාතික ගමනාගමන කොමිසම නියම කර ඇති කොන්දේසි උල්ලංඝණය කර ඇත්නම්, කොන්දොස්තර බලපත්‍රය අහෝසි කිරීම, රියැදුරු සහ කොන්දොස්තරවරයාගේ ලියාපදිංචිය අත්හිටුවීම, අසාදු ලේඛනගත කිරීම සහ බස් රථයේ මාර්ග බලපත්‍රය අත්හිටුවීම සිදු කෙරේ.

ඊට අමතරව, බස් රථයක් තුළදී රියැදුරු හෝ සහයකයා මගියෙකුට පහර දීමක් කළහොත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු සිවිල් නීතිය යටතේ ද නඩු පැවරිය හැකි ය.