රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාලය වසර දෙකකින් දීර්ඝ කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය ගෙන එන යෝජනාව මත එම පක්ෂයේ “ජාතික මහා ලේකම්“ රවී කරුණානායකට එරෙහිව ප්‍රබල කඳවුරක් නිර්මාණය වෙමින් පවතින බව හෙළිවේ.
මේ වනවිට හෙළිවී තොරතුරු අනුව වජිර අබේවර්ධන ගාල්ල දිස්ත්‍රික්කයේ සිට පැමිණ හදිසියේ ම කොළඹ කාර්යාලයක් විවෘත කර ඇත්තේ ද එම කඳවුරේ අවශ්‍යතාවයට ය. ඉක්මන් මැතිවරණයකින් යළි කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තු යාමේ දැඩි අපේක්ෂාවෙන් රවී කරුණානායක පසුවේ.
එහෙත් ජනාධිපති ධුර කාලය සහ මන්ත්‍රීවරුන්ගේ කාලය දීර්ඝ කිරීම පිළිබඳ යෝජනාව ඔහුගේ එම අපේක්ෂාවට බලවත් පහරක් වී තිබේ. එක්සත් ජාතික පක්ෂ කලමනාකරණ කමිටුව තුළ තම විරෝධය රවී කරුණානායක පළ කර ඇති බව මෙයට පෙර හෙළිවී තිබිණි.
ඉදිරිපත්ව තිබෙන බල අරගලය හමුවේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පුළුල් පෙරමුණක් ගොඩ නගා ගනිමින් එහි මහ ලේකම් වීමේ අරමුණින් රවී කරුණානායක ක්‍රියා කරමින් සිටී. තමන්ට විරුද්ධව ගොඩ නැගෙමින් තිබෙන කඳවුරට මුහුණ දීම සඳහා කෙසේ හෝ එම සන්ධානය ගොඩ නගන බව රවී කරුණානායකගේ සමීපතම ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.