විමල් වීරවංශ මහතාගේ පක්ෂය නියෝජනය කළ පොහොට්ටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය මන්ත්‍රීවරයා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සම්බන්ධ බව දැන් අනාවරණය වෙනවා. එම වෙඩි තැබීම උද්දික ප්‍රේමරත්න මහතා සහ අදාළ පොලිස් අධිකාරීවරයා එක්වී සැලසුම් සහගතව සිදු කළ එකක් බව අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

2023 වසරේ සැප්තැම්බර් 17 වනදා උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථය ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා. වෙඩි තැබීමෙන් මෝටර් රථයේ පිටුපස පැති වීදුරුවට අලාභ හානි සිදුවී තිබූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු අනතුරක් සිදුවී තිබුණේ නැහැ.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළා.

වෙඩි තැබීමේ සිද්ධිය මන්ත්‍රිවරයා අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම සමඟ එක්ව සැලසුම් සහගතව සිදු කළ එකක් බවයි කියන්නේ. සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මීට දින දෙකකට පෙර පසුගිය 12 වැනිදා කටුනායක ගුවන් තොටුපළින් මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති බවයි ගියන්නේ.

“අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම 12 දින විදෙස් ගතවී තිබෙනවා. ඔහු පොලිසියට දැනුම් දී නිසි අවසරයකින් තොරව විදෙස් ගතවී තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ නිවස ඉදිරිපිට දී ඔහුගේ මෝටර් රථයට 2023 වසරේ සැප්තැම්බර් 17 වනදා වෙඩි තැබීමක් සිදුව තිබුණා. එම මන්ත්‍රිවරයාත්, සහකාර පොලිස් අධිකාරිවරයාත් දන්නා හඳුනන අය. ඔවුන් දෙදෙනා සැලසුම් සහගතව මේ වෙඩි තැබීමේ සිද්ධිය කළ බවට විමර්ශනයේ දී නිරීක්ෂණය වී තිබෙනවා. එම සහකාර පොලිස් අධිකාරිවරයා කටුනායක ගුවන් තොටුපළට ගොස් ඔහුගේ රාජකාරි ගිනි අවිය ඔහුගේ හිතවතකු මාර්ගයෙන් පොලිසිය වෙත භාරදී තිබෙනවා. ඔහු සතු ගිනි අවිය වෙනත් අයකුට පැවැරීමේ හැකියාවක් නොමැති හෙයින් ඒ පිළිබඳවත් විමර්ශනයක් කරනවා. එම සහකාර පොලිස් අධිකාරිවරයා මැලේසියාව බලා පෙරේදා පිටත්ව ගොස් ඇති බව ද අනාවරණය වී තිබෙනවා” යි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව සඳහන් කරනවා.

අදාළ වෙඩි තැබීමේ සිද්ධිය මුල් කරගනිමින් තමාට ජීවිත තර්ජන ඇතැයි කියමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මීට මාස කිහිපයකට පෙර කැනඩාව බලා ගොස් තිබුණා.

මෙය උද්දිකට කැනඩා වීසා ලබාගැනීමට කල නාටකයක් බවටද මතයක් සමාජ මාධයේ පැතිරයනවා.