ශ්‍රී ලංකාවට ලබා දෙන සංවර්ධන ආධාර අඛණ්ඩව ලබා දීමට ඉන්දියාව කටයුතු කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් සහතික වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා සංචාරයේ දී ජනාධිපති අනුර දිසානායක, අගමැති හරිනි අමරසූරිය සහ විදේශ ඇමති විජිත හේරත් සමග පැවති සාකච්ඡාවලදී.
දෙරටේ, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්. ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා. බලශක්ති නිෂ්පාදනය සහ සම්ප්‍රේෂණය, ඉන්ධන සහ LNG සැපයීම, ආගමික ස්ථානවල සූර්ය බලයෙන් විදුලිය සැපයීම යන ක්ෂේත්රවල සිදු කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබෙනවා.
සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් පිළිබඳ තම දැක්ම සාක්ෂාත් කර ගැනීමට සහ ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලීමට ඉන්දියාවේ ආර්ථික සහය ඉතා වැදගත් බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවලදී ප්‍රකාශ කර තිබුණා. ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් ඉන්දියාවේ ආරක්ෂාවට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා මෙහිදී යළි අවධාරණය කර ඇති බව ද සඳහන්.
මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් මෙන්ම ඔවුන්ගේ බෝට්ටු නිදහස් කරන ලෙසත්, ඔවුන්ට පනවා ඇති අධික දඩ මුදල් නැවත සලකා බලන ලෙසත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙම සාකච්ඡාවලදී පවසා ඇති බවයි වාර්තා වන්නේ.අනුර දිසානායක ජනාධිපතිවරයා ට ඉන්දියාවට පැමිණෙන ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් ආරාධනාවක් ද සිදු කර තිබෙනවා.