ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ලෙස සංවිධානය කරන නීතිඥ ජාතික සමුළුව අද (07) ‘ටාජ් සමුද්‍රා’ හෝටලයේ දී පවත්වන්න සියලු කටයුතු සූදානම් කර තිබෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල පවසනවා. මෙරට ඉතිහාසයේ දැවැන්තම නීතිඥ එකතුව ලෙස එම සමුළුව අද පෙ.ව. 9.30ට ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක, අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වන බවයි ඔහු කියන්නේ.

“ජාතික ජන බලවේගය ජාතික විධායක සභාව, දිස්ත්‍රික් සභාව, ආසන සභාව සහ කොට්ඨාස සභාව කියන යාන්ත්‍රණය ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා. එය ශක්තිමත් කිරීම තුළින් සමස්ත ශ්‍රී ලාංකික ජනයා මෙන්ම වෙනත් විවිධ ක්‍ෂේත්‍රවල පිරිසත් සංවිධානය කිරීමේ හැකියාවක් ලැබුණා. භික්‍ෂුන් වහන්සේලාගේ සමුළුව, කාන්තා සමුළුව, හෙද සමුළුව, ගුරු සමුළුව වැනි සමුළු අතරට නීතිඥ සමුළුවත් එක් වෙනවා. විජේදාස ලියනාරච්චි සහෝදරයාගේ ඝාතනයත් එක්ක ඉතිහාසයේ දැවැන්තම නීතිඥ ප්‍රජාවක් එකතු වුණා වාගේම අගවිනිසුරු ධුරයෙන් ශිරාණි බණ්ඩාරනායක නෙරපා හැරීමට එරෙහිවත් නීතිඥ ප්‍රජාව ඉදිරියට ආවා. අරගලය අවස්ථාවේදීත් නීතිඥවරුන්ගේ එවැනිම ක්‍රියාකාරිත්වයක් තිබුණා. ඊටත් වඩා එහා ගිය එකමුතුවක් ටාජ් සමුද්‍රා හෝටලයේ දී පවත්වන්න සූදානම් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්, නීතියේ ආධිපත්‍යයට සහ විධානයටත් දැවැන්තම තර්ජනයක් එල්ල කර තිබෙන අවස්ථාවක මජර දේශපාලන සංස්කෘතිය පරාජය කර පුනරුද යුගයක් ඇති කිරීමට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල බහුතර ජනතාවක් එක් වී සිටිනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා තිබෙන අතර, රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ලියැවිල්ලෙත්, සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ලියැවිල්ලෙත් යන දෙකේම පිටු 102ක ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වා තිබෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු 231ක් තිබෙනවා. මේ පිටු අතර තිබෙන දේවල් පරිශීලනය කිරීමේ දී වැදගත් කරුණු ගණනාවක් නිරීක්‍ෂණය කළ හැකියි. මෙවර ජනාධිපතිවරණයේ දී දූෂිත කඳවුර සහ එයට එරෙහි අදූෂිත කඳවුර අතර තරගයක් පවතිනවා. මෙවර ජනාධිපතිවරණයේ දී දූෂිත කඳවුර පරදවා අදූෂිත කඳවුර නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා.

තැපැල් ඡන්ද ඉලක්ක කරගෙන රාජ්‍ය සේවකයන් වෙන්දේසි කිරීමට අනෙක් කණ්ඩායම් උත්සාහ කරන අතර, ජාතික ජන බලවේගය තැපැල් ඡන්දවල විශාල ජයග්‍රහණයක් අපේක්‍ෂාවෙන් සිටිනවා. ඒ හමුවේ පරාජයෙන් බියගැන් වී සිටින පිරිස් රට තුළ අනියත බියක් නිර්මාණය කිරීමට විවිධ උත්සාහයන් දරනවා. ඒ සියලු උත්සාහයන් පරාජය කිරීමට ජාතික ජන බලවේගයේ නීතිඥයෝ කණ්ඩායම කටයුතු කරන බව අවධාරණය කරනවා” යි ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල සඳහන් කරනවා.