දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා භික්ෂූන් වහන්සේලා තුන් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න, කොල්ලූපිටිය රාහුල සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරුන්.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලන නියෝගයන් ඉල්ලා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමෙන් පසු පසුගිය ජූලි 24 වැනිදා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළා.

එම නියෝගය හේතුවෙන් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු මෙහෙයවීමට මැතිවරණ කොමිසම විසින් පොලිස්පතිවරයාට නියෝග ලබාදීමට හැකියාව නොමැති බවයි අතරමැදි පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ. දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ‘යුක්තිය’ නමින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා මෙහෙයුමක් ඉතා සාර්ථකව දියත් කළ බවත් ඔහු කාර්යක්ෂම පොලිස්පතිවරයකු බවත් උන්වහන්සේලා තුන් දෙනා තම පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.