වැටුණු රට ගොඩගත් රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනපති කරමින් කලගුණ සැලකීමට ජනතාව ඒකරාශී වෙමින් සිටින බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසනවා. අනුර සජිත් දෙදෙනාම රාජපක්ෂලා සමඟ ඩීල් දමා තිබෙන බවයි ඔහු කියන්නේ. තමන්ගේ කණ්ඩායම වෙනත් කිසිඳු කණ්ඩායමක් සමඟ ඩීල් දමා නොමැති බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැටුණු රට ගොඩගත්තා. රට වැට්ටුවේ කවුද කියන්න රටේම ජනතාව දන්නවා. රට වැටිලා කරන්න කවුරුත් නැති වෙද්දි, කට්ටිය පැනලා යද්දි රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත්තා. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර බැහැ කීවා. රනිල් වික්‍රමසිංහ අභියෝගය භාර ගත්තා. තෙල්, විදුලිය, පොහොර, බෙහෙත් ටික නැතිව තියෙද්දි ජනතාව, රට බේරගන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. ඒ ඉතිහාසය අවුරුදු දෙකක් යනකොට සමහරු අමතක කරන්න හදනවා. අපි වැටිලා ඉන්නකොට, කර ගන්න දෙයක් නැතිව ඉන්නකොට රට ගොඩගත් නායකයාට කළගුණ සලකන්න ඕනේ.

අපි එපා කියද්දි උත්සවයක් සංවිධානය කරලා මයිනාගෝගමට ගහන්න ගිහින් තමා රටේ මහා විශාල විනාශයක් කළේ. සජිත් ප්‍රේමදාස එදා රනිල් රජපක්ෂ කීවා අද ඒක කියන්න බැහැ. රාජපක්ෂලා අද ජන්දය ඉල්ලන්නේ දිනන්න නෙමේ. රනිල් වික්‍රමසිංහ පරාජය කරන්න. අද රාජපක්ෂලා සජිත් ප්‍රේමදාස මහතාට උදව් කරනවා. ජවිපෙට උදව් කරනවා. අපේ කණ්ඩායම උදව් කරන්නේ රට වැටිලා තියෙනකොට ගොඩගත් නායක රනිල් වික්‍රමසිංහ මහතාට. අපි හෘදසාක්ෂියට අනුව වැඩ කරන්න ඕනේ. අද සජිත් ප්‍රේමදාස රාජපක්ෂලට බනින්නේ නැහැ. ජවිපෙ රාජපක්ෂලට බනින්නේ නැහැ. බනින්නේ රනිල් වික්‍රමසිංහට. ඒ ප්‍රධාන අභියෝගය රනිල් වික්‍රමසිංහ මහතා නිසා. ජනතාව අද පෙළ ගැහිලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට කළගුණ සලකන්න. අද අනුර කුමාර රාජපක්ෂලා එක්ක ඩීල්. සජිත් ප්‍රේමදාස මහතා රාජපක්ෂලා එක්ක ඩීල්. අපේ කණ්ඩායම කිසිදු කණ්ඩායමක් එක්ක ඩීල් නැහැ. අපේ මැතිවරණ ව්‍යාපාරය ශීඝ්‍රයෙන් උඩට එනවා. ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරය වටා ජනතාව ඒකරාශි වෙමින් සිටිනවා” යි නිමල් ලන්සා කියනවා.