රජයේ රෝහල්වල ඇති අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 850 න් 329 ක් මාස තුනකටවත් ප්‍රමාණවත් නැති බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග පවසයි.


අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 850 න් 643 ක් නිර්වින්දන හෘද රෝග, ළමා රෝග හා මානසික රෝග සඳහා ලබා දෙන ඖෂධ වන අතර එම ඖෂධ ද හිඟවෙමින් පවතියි. වෛද්‍ය සැපයුම් අංශයේ ස්වස්ථා දත්ත පද්ධතියට අනුව ඖෂධ වර්ග 88 ක් කිසිදු රෝහලක නොමැත.

පිළිකා රෝගීන් සඳහා ලබාදෙන එන්නත් හා ඖෂධ වර්ග 97 න් සියයට 50 ක්ම නොමැති බවද පිළිකා රෝග වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇත.

මෙලෙස ඖෂධ හිඟයක් යළි නිර්මාණය වීමට හේතුවී ඇත්තේ සැපයුම්කරුවන් සඳහා හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් ඖෂධ සැපයීම මන්දගාමීව සිදුවීම බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ බව සැපයුම්කරුවන් ද අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. වෛද්‍ය සැපයුම් අංශයෙන් හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන 8000 ඉක්මවයි.

ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23 වැනිදා) සාකච්ඡාවක් පැවැත්වුවද නිසි තීන්දුවක් ලබාගැනීමට නොහැකි වූ බවද වාර්තා වෙයි.